කෙනකු මරණයට පත් වූ පසු සිදු වන්නේ කුමක්ද? ඔබ මරණයට පත් වුවත් ඔබ තවමත් එතන සිටින බව ඔබ ඇසුවාම ඔබට පුදුම හිතේවි. ඔබ මරණයට පත් වූ පසු අවට අය වැලපෙමින් සිටින අතර ඔබ සිරුරෙන් වෙන් වී ගොස් සිදු වන දේවල් දකිමින්, ඇහෙන දේවල් අසමින් සිටීම ඔබට අත්දකින්න පුළුවන් වේවි. මේකට කියන්නේ ශරීරයෙන් ඉවතට පා වී යෑම කියලයි.

පෙර ආත්මය කියන දරුවෙක් අක්‌මීමනින්

Wednesday, August 29, 2012


මියගියේ ටිපර් රිය පෙරළිලා


මීට වසර එකොළහකට (11) පමණ පෙර උඩුගම බාර් හන්දිය අසලදී ටිපර් රථයක්‌ පෙරළීමෙන් මියගිය අයකු අක්‌මීමන කැටන්දොළ ප්‍රදේශයේ පවුලක ඉපදී තම පෙර ආත්මය පිළිබඳව කියන්නට පටන් ගෙන තිබේ.

හත්හැවිරිදි වියේ පසුවන මෙම දරුවා මනුජ මනීෂ ය. ඔහු අක්‌මීමන කුරුඳුවත්ත සුමංගල විද්‍යාලයේ එක වසරේ ඉගෙනුම ලබයි. ඔහුගේ මව සහ පියා පවසන්නේ දරුවා බහ තෝරණ වියේ සිටම පෙර ආත්මය පිළිබඳව නොයෙකුත් විස්‌තර කියූ බවයි.

උපාධිධාරියකු වන මනුජගේ පියා වී. වී. තිලකරත්න මහතා තම දරුවා ගැන මෙසේ මෙසේ කියයි.

"දරුවා තනියම ඉන්න වේලාවට තමයි පෙර ආත්මය ගැන කියන්නේ. කුඩා කාලයේ සිටම වාහනවලට කැමැතියි. මාස දහයේ ඉඳලම සෙල්ලම් වාහන තමයි ඉල්ලන්නේ. උඩුගම ගැන කියනවා, සුදු නෝනා ගැන කියනවා. නිතරම මට කියනවා වාහන ගෙනත් දෙන්න කියලා. තරිඳු සහ හිමාලි ගැනත් කියනවා. නිතරම කෝල් කරනවා. කොළඹ හිටිය බව කියනවා. සිගරැට්‌ බොන විදියට අත හදාගෙන පය පිට පය දමලා පෙන්වනවා.
අක්‌කා අයියා ගැන කියනවා. නිතරම උඩුගම ගෙදර යන්න කතා කරනවා. ගෙදර තියෙන්නේ උඩුගම කියනවා. පොඩි කාලේ ඉඳලම ගාථා කියනවා. බණ පිරිත් අහන්න කැමැතියි. මගේ පුතාලා දෙන්නා දැන් කොට කලිසම් ඇඳගෙන පාසල් යනවායි කියනවා.

වාහනවල කෑලි හොඳට හඳුනනවා. සිංදු කියන්නත් හරි දක්‌ෂයි. පුතාට ඉස්‌සර කියන්නේ සුදු මහත්තයා කියා පුතා කියනවා."

පෙර ආත්මය පිළිබඳව ඇසූ විට හත්හැවිරිදි වියේ පසුවන මනුජ පවසන්නේ මෙලෙසින්

"සුදු නෝනා බලන්න උඩුගම රෝහලට ගියා ටිපර් රථයෙන්. ටිපර් රථයේ දහතුන් දෙනෙක්‌ හිටියා. බාර් හන්දියේ දී ටිපර් එක පෙරළුණා. වාහනයේ දොර කැඩිලා වීසි වුණා. දොර වැදිලා මගේ බෙල්ල කැඩිලා ගියා. මම එතනම ඉවරයි. මම මැරුණා.

මම උඩුගම රෝහලට රැගෙන ගියාට පස්‌සේ දොස්‌තර මහත්වරු මගේ පපුව තද කරලා අල්ලලා ඇඟ උඩ නැගලා ප්‍රතිකාර දෙන්න හැදුවා. එතකොට මම මැරිලා ඉවරයි.."

මනුජගේ පියා වන තිලකරත්නය තම පුතා ගැන පවසන්නේ 

"පුතා ඉපදුණේ 2005.10.27 වැනිදා. පුතා නිතරම උඩුගම යමු කියලා කියනවා. පුතා කියනවා ඒ මිනිස්‌සු මාව සිහිපත් කරලා තාමත් දාන මාන කරනවා ඇති කියලා. ඉකුත් 25 වැනිදා අපි උඩුගම පොලිසියට ගිහින් පුතාට මේ කියන විදියේ අනතුරක්‌ වුණාද කියලා සොයා බැලුවා. වසර දහයක දොළහක විතර උඩුගම පොලිස්‌ බල ප්‍රදේශය තුළ වූ අනතුරු ගැන සොයා බැලුවා. 

පුතා මේ කියන අනතුර පොලිස්‌ පොතේ සටහන් වෙලා තිබුණා. ඒ පොලිසිය මගින් ලබාදුන් තොරතුරු ඔස්‌සේ තමයි උඩුගම කැටගොඩ පිහිටි පුතා ගිය ආත්මයේ පදිංචිවෙලා හිටපු නිවසට ගියේ. අපි එම නිවසට යන දවසේම තමයි ඒ ගෙදර දානයක්‌ තිබුණේ. මියගිය කෙනාගේ එකොළොස්‌ වැනි අවුරුද්ද සිහි කරලා තමයි දානේ දීලා තිබුණේ.

පුතාගේ පෙර ආත්මයේ නම තමයි හෙට්‌ටිගමගේ උදය කැළුම්. අවුරුදු තිස්‌පහේදී තමයි මියගිහින් තියෙන්නේ. 2001.08.26 වැනිදායි මෙම අනතුර වෙලා තියෙන්නේ. පුතා එම ගෙදරට ගිය ගමන් ගෙදර හිටපු අය අපේ හිච්චි මාමා ඇවිත් කියලා දැඩි සතුටෙන් තමයි කිව්වේ. පුදුම බැඳීමක්‌ ඇතිවුණු බව අපට දැනුණා. අනතුරට ලක්‌වුණ රථයේ දොර හඳුනාගෙන පාටත් කිව්වා. එයාගේ ගිය ආත්මයේ පිංතූරය දිහා විනාඩි 10 ක්‌ විතර එකදිගට බලාගෙන හිටියා. 

ගිය ආත්මයේ පුතාගේ පිංතූරත් බැලුවා. ගිය ආත්මයේ පුතා ඉන්නේ කොළඹ. ඔහුත් සමග දුරකථනයෙන් කතා කළා.

පෙර ආත්මයේ මෙම දරුවාගේ අක්‌කා වන හෙට්‌ටිගමගේ ශ්‍රියානි ධර්මලතා මහත්මිය පවසන්නේ මෙලෙසින්. 

"මේ දරුවා කියන කතාව ඇත්ත. අපේ හිච්චි මල්ලි ගෙදරට ආව වගේ හැඟීමක්‌ තමයි මට දැනුණේ. පුතා දැක්‌ක ගමන් පුදුම බැඳීමක්‌ තමයි ඇති වුණේ. මේ දරුවා එන බව පොලිසියෙන් අපට දැනුම්දීලා තිබුණා. මේ දරුවා එනකම් අපි පෙරමඟ බලාගෙන හිටියේ. හිච්චි මල්ලි මියගිහින් අවුරුදු එකොළහේ දානය තිබුණ දවසේම නිවසට ආපු එකත් පුදුම දෙයක්‌. මෙය හාස්‌කමක්‌ වගේ දෙයක්‌. අපේ හිච්චි මල්ලිගේ මුහුණම තමයි මේ දරුවාට තියෙන්නේ. හිච්චි මල්ලි මම උයන කෑම කන්න කැමැතියි. මේ දරුවාත් එදා තනියම බත් පිඟානක්‌ බෙදාගෙන කෑවා. කෑම රස බවත් දරුවා කීවා."




පෙර ආත්මයේ නෑදෑයන් සොයමින් පුංචි මනුජ උඩුගම ගිහින්...

තිලකරන්න හා අනුෂා යුවළගේ කළුඳුල් දරු පැටියා වූයේ මනුජ මනිෂය. මේ පුංචි කොලුපැටියා තුළ බහතෝරන වියේ සිටම දක්‌නට ලැබුණේ අනිකුත් දරුවන්ට වඩා වෙනස්‌ ගති පැවතුම්ය. පුංචි කාලයේ සිටම කථා බහ කෙරුවේත් කරන්නට ගියේත් ලොකු ලොකු දේවල්ය.

බහතෝරන වියේදී අම්මා තාත්තා කියනවා වෙනුවට මේ පුංචි කොලු පැටියා මුමුනන්නට වූයේ සුදුනෝනා ලොකුපුතා, හිමාලි, තරිදු, කොළඹ, සමන්තුරේ ආදී නම් ගම්ය. අම්මේ මගේ මුහුණේ පූසකුගේ වගේ ලෝම තියෙන රැවුළක්‌ තියෙනවා. එසේ කියන මනුජ නිතරම රැවුල කැපීමටද යන්නේය.

ඒ විතරක්‌ නොව මේ කොලුපැටියා යාන වාහන වලට දැක්‌වූයේ දැඩි කැමැත්තකි. මාස දහයේදී පමණ ඇවිදීමට පටන්ගන්නා මනුජ වාහන පදවාගෙන යන අයුරින් බංකු ඇදගෙන දුවයි. තාත්තේ මට ත්‍රිරෝද රථයක්‌, බයිසිකලයක්‌ අරන් දෙන්න කියා නිතර කියන ඔහු සෙල්ලම් වාහනවලට හරිම කැමතියි. ඒ වගේම ලොකුපුතා සුදු නෝනා යන නම්ද මේ දරුපැටියා ගේ මුවෙහි විය. මේ අතර ඔහු මගේ නම සුදු මහත්තයා මගේ ගම උඩුගම කියා කියන්නටද පටන් ගත්තේය. අම්මේ මම සුළඟේ පාවෙලා ආවේ. එක්‌ දිනක්‌ මනුජ තම මවට කිව්වේය. මනුජ මේවා බොහෝවිට කියන්නට පටන් ගන්නේ ඔහු හුදකලා වූ අවස්‌ථාවලදීය.


ඉහළ මනුජගේ ගිය ආත්මයේ ඡායාරෑපයක්...... 

පහළ මව සහ පියා සමග මේ ආත්මයේ.......

මනුජගේ වයස අවුරුදු දෙක පිරෙද්දී එක්‌ දිනක ඔහු තම මවට මෙසේ කීවේය.


"අම්මේ අපි ගියපු ටිපර් එකේ දොර ඇරිලා වීසිවෙලා ගිහින් මාව වැටුණා. මගේ බෙල්ල කැඩුණා. මම එතනම ඉවර වුණා." මනුජ කීවේය.

මනුජගේ මව වන අනුෂාට තම පුතු මේ කියන කථාන්දර නොතකා සිටීමටද නොහැකි විය. ඇය ඒ පිළිබඳ කුහුලින් යුතුව සැමියා සමගද කතා කළාය.

පුතා පෙර ආත්මය ගැනවත් කියනවාද මන්දා?

අනුෂා තිලකරත්නට කීවාය.

ටික කාලයක්‌ යනවිට පුතා ඔය කියන කථා එයාටම අමතක වෙලා යාවි තිලකරත්න මේ ගැන ඒ හැටි ගණන් නොගෙන තම බිරිඳට කීවේය.

ඒ කොයි හැටි වෙතත් මනුජගේ මේ කියවිල්ල අඩු වූයේ නැත. ඔහු කියන දේවල් ගැන උනන්දු නොවී සිටීමටද ඔවුන්ට නොහැකි විය.

අනේ තාත්තේ අපි කාර් එකක්‌ ගමුද?

ඔහු මෝටර් රථයක්‌ මිලදී ගන්නා ලෙස නිතරම පියාට කිවේය. ඔහු ඇතැම් අවස්‌ථාවලදී පය පිට පය තබාගෙන පුටුවක්‌ මත වාඩිවී සිගරට්‌ දුමක්‌ බොන ආකාරයට දුම් වළලු පිට කරන අයුරුද මවත් පියාත් දුටුවෝය.

මනුජට වසර තුනක්‌ පිරෙද්දී ඔහු මේ කියන කථා තවත් විස්‌තර ඇතිව කීවේය. පුතා මේ කියන්නේ පෙර ආත්මය ගැන තමයි. ඒ ගැන කිසිදු සැකයක්‌ නැහැ. තිලකරත්න තම බිරිඳට කීවේය.

අනේ පව් අම්මේ සුදු නෝනා මනුජ නිතරමම කියන්න වූයේය. අම්මේ එදා අපි ටිපර් එකෙන් ගියේ සුදු නෝනා බලන්න. ටිපර් එකේ දහතුන් දෙනෙක්‌ ගියා. මගේ අක්‌කයි අයියයි මට ඕන. මනුජ තම මවට කීවේය.

මනුජ තමන් පෙර ආත්මයේදී උපන් නිවස ගැනද තොරතුරු කියන්නට විය.

අපේ ගෙදරට යන්න තිබුණේ ගල්වලින් පැනලා. පොඩි අඩි පාරක්‌ දිගේ. මගේ ත්‍රිරෝද රථය මග දමලා පයින් තමයි ගෙදරට ගියේ. අනේ අම්මේ අපේa ගෙදර යමු. මම ගෙදරට යන පාර පෙන්වන්නම්.

මනුජ දෙමව්පියන්ට නිතරම ඇවිටිලි කළේය.

මනුජ සිව් හැවිරිදි වියේ පසුවෙද්දී ඔහු පෙර පාසල් යෑවීමට මනුජගේ දෙමව්පියෝ කටයුතු කළහ. පෙර පාසල් ගොස්‌ අනිකුත් ළමුන් සමග සම්බන්ධ වුවද මනුජ මේ කියන කථා නතර කළේ නැත. පෙර පාසලේදීද මේ පුංචි කොලු ගැටයා කරන්නට ගියේ වැඩිහිටියන් කරන දේවල්ය.

තාත්තේ තාත්තාට වඩා මම උසයි. මට ත්‍රිවිලර් ගෙනියන්න පුළුවන්. මම රට වටේ ගිහින් තියෙනවා. මට වාහන තිබුණා. මට පුතාලා දෙන්නෙක්‌ ඉන්නවා. මනුජ කියාගෙන යන්නේය.

එක්‌ දිනක්‌ මනුජ රූපවාහිනිය නරඹමින් සිටියදී දෙවුන්දර ප්‍රදීපාගාරය පෙන්වන අයුරු ඔහු දුටුවේය.

අම්මේ ඔය කුළුණ බලන්නත් මං යාළුවෙක්‌ එක්‌ක ගියා. කුළුණ ළඟ හිටපු මුරකාරයට මොනර කොළයක්‌ දීලා තමයි මමයි යාළුවයි කුළුණ උඩට නැග්ගේ. මනුජ තම මවට කීවේය.

මේ පුංචි කොළු පැටියාගේ දැන් වයස අවුරුදු හතකි. ඔහු අකුරු කිරීමට යන්නේ අක්‌මීමන කුරුඳුවත්ත සුමංගල විද්‍යාලයේ දෙක වසරටය. මේ පුංචි පුතා දෙක වසරේ ඉගෙනුම ලබමින් සිටියදී තවත් හරි අපූරු කථාවක්‌ මවට කීවේය.

අම්මේ මගේ පුතාලා දෙන්නත් මං වගේ කොට කලිසම් ඇඳගෙන තමයි පාසල් ගියේ. එදා අනතුර වුණාට පස්‌සේ උඩුගම රෝහලට තමයි මාව අරන් ගියේ. දොස්‌තර මහත්වරු මගේ ඇඟ උඩ නැගලා පපුවට අත තියලා මොනවාද ඇල්ලුවා. එතකොට මම මැරිලා.

පුංචි පුතා තවත් කතාවක්‌ කීවේය.

මනුජ තුළ ඇති විශේෂ හැකියාවක්‌ වන්නේ මෝටර් රථවල කෑලි හඳුනා ගැනීමට ඔහු තුළ ඇති සහජ දක්‍ෂතාවයි. ඒ විතරක්‌ නොව ගීත ගායනා කිරීමට මේ කොලු පැටියාට ඇත්තේ පුදුම දක්‍ෂතාවකි. "අනේ අම්මේ උඩුගම යමු" කියා මනුජ නිතරම මවට ඇවිටිලි කරන්නේය.

දිනය ඉකුත් 25 වැනිදාය. එදින උදැසනින්ම මනුජ අවදි වූයේය. අර මිනිස්‌සු මාව සිහිපත් කරලා තාම දානත් දෙනවා ඇති. මනුජ තම මව්පියන්ට කීවේය. අනේ තාත්තේ අද නම් උඩුගම යන්නම ඕන. මනුජගෙන් බේරුමක්‌ නැතිවිය. පසුව තිලකරන්න බිරිඳගත් දරුවාත් සමග තම ත්‍රිරෝද රථයෙන් උඩුගම බලා පිටත් වූහ. මේ ගමනට තිලකරන්නගේ මිතුරෙකුද සම්බන්ධ කර ගත්තේය. මොවුන් කෙලින්ම ගියේ උඩුගම පොලිසියටය. පොලිසියේ ලොකු මහත්තයා හමුවී දරුවා කියන කථාව ඔහුට කීවේය.

මීට වසර දහයකට එකොළහකට පමණ ඉහතදී උඩුගම පොලිස්‌ බල ප්‍රදේශය තුළ වූ රිය අනතුර පිළිබඳ සොයා බැලීමට පොලිස්‌ පොත පෙරළන්නට විය. පොලිසියේ ලොකු මහත්තයා ඇතුළු පොලිස්‌ නිලධාරීන් මේ සඳහා තිලකරත්නට ලබාදුන්නේ විශාල සහයෝගයකි. පොලිස්‌ පොත පෙරලමින් සිටියදී 2001.08.26 වන දින උඩුගම බාර් හන්දිය අසලදී වූ අනතුරක්‌ ගැන එම පොතේ සටහන් වී තිබිණි.

ටිපර් රථයක්‌ පෙරළීමෙන් මෙම අනතුර සිදුවී තිබූ අතර එක්‌ අයෙකු මිය ගොස්‌ තිබිණි. අනතුරෙන් මියගොස්‌ තිබුණේ හෙට්‌ටිගමගේ උදය කැළුම් (35) නැමැති දෙදරු පියෙකි. ඔහු උඩුගම කැටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බවද සඳහන් විය.

මේ කොලු පැටියා කියන කථාවත් මේ අනතුරත් පිළිබඳ සොයා බැලීමේදී මේ නැවත ඉපදී සිටින්නේ ගිය ආත්මයේදී මිය ගිය උදය කැළුම් බව මනුජගේ පියා මෙන්ම පොලිසියේ මහත්වරුද දැඩිව විශ්වාස කළහ. පොලිසියේ මහත්වරු උදය කැළුම් පදිංචිව සිටි නිවසට කථාකොට සියලු තොරතුරු කීවේ ඉන් පසුවය. එදින උදය කැළුම් මියගොස්‌ වසර එකොළහක්‌ පිරීම නිමිත්තෙන් නිවසේ දානමය පිංකමක්‌ද පැවැත්වෙමින් තිබිණි. මේ ආරංචිය ඇසීමෙන් උදය කැළුම්ගේ පවුලේ අය දැඩි සතුටට පත්ව සිsටියෝය.

ඉන්පසු තිලකරත්න දරුවාද කැටුව උදය කැළුම් පදිංචිව සිටි නිවසට ගියේය. දරුවා ත්‍රිරෝද රථයෙන් බසිනවාත් සමග සුදුනෝනා දිවගොස්‌ මේ අපේ හිච්චි මාමනේ කියා වඩාගෙන නිවස තුළට රැගෙන ගියාය. අනේ අපේ හිච්චි මල්ලි නැවත ඉපදිලා. ගිය ආත්මයේ උදය කැළුම්ගේ වැඩිමහල් සහෝදරිය කීවාය.

ඉන්පසු සුදු නෝනා අනතුරට පත් ටිපර් රථයේ ඡායාරූපයක්‌ පෙන්නුවාය. මනුජ පුතා එම ටිපර් රථය දිහා ටික වේලාවක්‌ බලාගෙන සිටියේය. නිල්පාට ටිපර් රථයක්‌ තිබුණේ. කෝ ටිපර් රථයේ දොර මනුජ පුතා ඇසුවේය. ටිපර් රථයේ දොර නිවසේ පැත්තක දමා තිබුණේය. මනුජ එතනට ගොස්‌ එදා අනතුරට ලක්‌වූ ටි්‍රපර් රථයේ දොර මෙය බවද හඳුනා ගත්තේය.

ඉන්පසු උදය කැළුම්ගේ නිවසේ අය උදයගේ පුතකුගේ ඡායාරූපයක්‌ද මනුජට පෙන් වූයේය. මනුජ එම ඡායාරූප දිහා බලාගෙන සිටියේ දැඩි සෙනෙහසකිනි. ඉන්පසු දුරකථනයෙන් එම පුතු සමග මනුජ කථා කළේය. මාව බලන්න එන්න කියා මනුජ කීවේය. මනුජ පුතු නිතරම සුදු නෝනා ගැන කීවේය. සුදුනෝනා මනුජගේ පෙර ආත්මයේ වැඩිමහල් සහෝදරියගේ දියණියයි.

ඇය අනුරාධා නාගහවත්ත. අනුරාධා අප සමග මෙසේ කීවාය.

මට දැනුණේ අපේ හිච්චි මාමා නිවසට එනවා වගේ. පුදුම බැඳීමක්‌ තමයි ඇතිවුණේ මින් පස්‌සේ හිච්චි මාමාට පිං දීලා ප්‍රාර්ථනා කරන්නේ දීර්ඝායුෂ ලැබෙන්න කියලා.

මට බබෙක්‌ ලැබෙන්න උඩුගම රෝහලට ඇතුළුවෙලා හිටියේ හිච්චි මාමලා ටිපර් රථයෙන් ආවේ මාව බලන්න. ඒ එන අතරතුරේදී තමයි මේ අනතුර වෙලා තියෙන්නේ.

මට එදා හොඳට මතකයි හිච්චි මාමා උඩුගම රෝහලට ගෙන ආ වෙලාවේ දොස්‌තර් මහත්වරු වට කරගෙන හිච්චි මාමාගේ ඇඟ උඩ නැගලා කෘත්‍රීම ස්‌වශනය දෙන්න උත්සාහ කළා. ඊට පස්‌සේ තමයි කරාපිටිය රෝහලට රැගෙන ගියේ. ඒ අතරේ තමයි හිච්චි මාමා මියගියේ.

මම රෝහලට ඇතුළත් වෙන්න යනවිට ඇඳුම් දමාගෙන යන්න හිච්චි මාමගේ බෑගය තමයි මට දුන්නේ. හිච්චි මාමා තමයි මේ නැවත ඉපදිලා ඉන්නේ. ඒ ගැන සැකයක්‌ නැහැ.

මනුජ පුතා ඉපදී ඇත්තේ 2005.01.27 වන දිනය. ඔහු ගිය ආත්මයේදී මියගොස්‌ ඇත්තේ 2001.08.26 වන දිනය. ඒ මේ කියන තොරතුරුවල අනුව වසර හතරකුත් මාස දෙකකට පසු මොහු යළි ඉපදී තිබේ.

ගිය ආත්මයේදී මනුජගේ ලොකු අක්‌කා වන හෙට්‌ටිගමගේ ශ්‍රියානි ධර්මලතා (53) මෙසේ කීවාය.

මගේ දුවට බබෙක්‌ ලැබෙන්න හිටියා. ඇය හිටියේ උඩුගම රෝහලේ. එදා මගේ ලොකු පුතාගේ ටි්‍රපර් රථයෙන් තමයි උඩුගම රෝහලට ගියේ ටිපර් රථයේ දහතුන් දෙනෙක්‌ ගියා. හිච්චි මල්ලි වසර කිහිපයක්‌ සවුදි රටේ රියෑදුරකු ලෙසත් රැකියාව කළා. ඔහු හොඳ රියෑදුරෙක්‌. මම ගොඩක්‌ ආදරෙයි. බිරිඳත් එක්‌ක තරහවෙලා ඇවිත් මගේ ගෙදර තමයි හිටියේ. ඔහු කාලයක්‌ මහණ වෙලාත් හිටියා. හිච්චි මල්ලි සෙල්ලක්‌කාර ජීවිතයක්‌ තමයි ගත කළේ.

මල්ලිට අපල තිබූ නිසා දින හතක බෝධි පූජාවක්‌ කිරීමටත් කියා තිබුණා නමුත් බෝධි පූජාව කරන්න පුළුවන් වුණේ දින හතරයි. හතරවන දිනයේ මල්ලි මත්පැන් බීලා තිබූ නිසා බෝධි පූජාව කළේ නැහැ. මල්ලි මගේ ලොකු පුතාට හා දියණියට ගොඩක්‌ ආදරෙයි. මේ දරුවා කියන කථාව ඇත්ත. මේ දරුවා නිවසට ආපු අවස්‌ථාවේ මට දැනුණේ ඥතියකු එනව වගේ පෙර ආත්මයේ බැඳීමක්‌ කියලා හිතුනා. හිච්චි මල්ලි මිය ගියාට පසු ඔහුගේ බැල්ම අපේ පවුලට තිබුණා කියලා හිතෙනවා.

අපේ පවුල දියුණු වුණා වාහන 23 ක්‌ විතර තිබුණා ලොකු පුතාට කාර්සේල් ආයතනයක්‌ තිබුණා මල්ලි නැවත ඉපදුනාට පසු පවුලේ දියුණුව නැති වුණා. තිබූ යාන වාහන නැතිවුණා කියලා විශ්වාස කරනවා. නැවත ඉපදිලා ඉන්නේ අපේ හිච්චි මල්ලිම තමයි.

මනුජ මේ නිවසේ සිටින විටදී ගිය ආත්මයේදී ඔහුගේ හොඳම මිතුරෙකු වන පී. ආර්. වික්‍රමරත්න (42) මෙම නිවසට පැමිණියේය. මනුජ ඔහු හොඳින් හඳුනා ගත්තේය. අපේ ගෙදර තියෙන්නේ අක්‌මීමන කැටන්දොල. අපේ ගෙදර ඇවිත් යන්න කියා මනුජ පුතා දෙපාරක්‌ම තම ගිය ආත්මයේ මිතුරාට කීවේය.

සැඳකැළුම් (ගිය ආත්මයේ) මගේ හොඳ මිතුරෙක්‌. මාත් එක්‌කම තමයි හිටියේ. මැරෙන මොහොතෙත් මම ළඟින්ම හිටියා. වැලි ලොරියේ ගියේ මාත් එක්‌ක දක්‍ෂ රියෑදුරෙක්‌. මිය යන්න ටික දිනකට කලින් ගඟෙන් කෙන්දා නමැති මාළුවෙක්‌ද මට අල්ලලා දුන්නා.

මීට වසර එකොළහකට පමණ ඉහතදී මෙම අනතුර වූ ස්‌ථානයටද අපි ගියෙමු. එදා අනතුර වන අවස්‌ථාවේ අනතුරට පත් තුවාලකරුවන් වාහනයට පැටවීමට උදව් කළ රංජිත් තිලක්‌ වන්නිආරච්චි අප සමග මෙසේ කීවේය.

ටිපර් රථය ගලක්‌ උඩින් ගිහින් පෙරළිලා ටික දුරක්‌ ආවා. ටිපර් රථයේ හිටපු අය වීසිවුණා ඔය උදය කැළුම් වීසිවෙලා වැටුණේ අර තාප්පය ළඟට රංජන් කීවේය.

මේ පිළිබඳ අපි විශේෂඥ මනෝවෛද්‍ය මහාචාර්ය ඩී. වී. ඡේ. හරිස්‌චන්ද්‍ර මහතාගෙන්ද විමසීමක්‌ කළෙමු.

මේ වගේ සිද්ධීන් මීට ඉහතදීන් වාර්තාවෙලා තියෙනවා. මහාචාර්ය ස්‌ටීවන් මේ පිළිබඳ පර්යේෂණ 1700 ක්‌ විතර සිදුකොට තියෙනවා. ලංකාවේ වූ සිද්ධීන් දහයක්‌ විතර එම පර්යේෂණයට අයත්. ඇත්තටම මේ වගේ සිද්ධීන් ගැන ආගම් බේදවලින් තොරව විද්‍යාත්මකව පර්යේෂණ කිරීම ළමා මනෝ වෛද්‍ය විද්‍යාවට ඉතා වැදගත්.

ලලිත් චාමින්ද
2012 සැප්තැම්බර් 02 ඉරිදා දිවයින


කොග්ගල නිළමේ හැදින්වීම