කෙනකු මරණයට පත් වූ පසු සිදු වන්නේ කුමක්ද? ඔබ මරණයට පත් වුවත් ඔබ තවමත් එතන සිටින බව ඔබ ඇසුවාම ඔබට පුදුම හිතේවි. ඔබ මරණයට පත් වූ පසු අවට අය වැලපෙමින් සිටින අතර ඔබ සිරුරෙන් වෙන් වී ගොස් සිදු වන දේවල් දකිමින්, ඇහෙන දේවල් අසමින් සිටීම ඔබට අත්දකින්න පුළුවන් වේවි. මේකට කියන්නේ ශරීරයෙන් ඉවතට පා වී යෑම කියලයි.

ඉතාලියෙන් මතුවූ ‘පුනරුත්පත්ති කතාවක්’


motorcycle


“ඔයාලගේ ආගමේ පුනරුත්පත්තිය ගැන කියනවා නේද? මට ඒ ගැන ටිකක් දැනගන්න ඕනේ. මට උදව් කරන්න පුළුවන්ද?” මගේ මිතුරියකගේ හිතවත් ඉතාලි ජාතික කාන්තාවක් දිනක් මගෙන් එසේ විමසා සිටියාය.ඒ මා බෞද්ධාගමේ බව ඇය දැන සිටි නිසා.
“දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්නම්” මම ඇයට පිළිතුරු දුනිමි. එවිට ඇය පැවැසුව් “මම කැමතියි ඔයාලගේ පන්සලට ඇවිත් ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක කතා කරලා මේ ගැන ගැඹුරට දැනගන්න. මම අන්තර්ජාලයෙන් ගොඩක් කියෙව්වත් සමහර තැන් තියෙනවා පැහැදිලි නැති” කියාය. ඒ අනුව ඕනෑම වෙලාවක ඇය විහාරස්ථානයට කැඳවාගෙන යාමට මම එදින ඇයට ‍පොරොන්දු වූයෙමි. එසේ හිතවත්වූ ඇය, බුද්ධ ධර්මයත් පුනරුත්පත්තියත් ගැන කරුණු සොයන හේතුව ඇය පසුදිනක මා හමුවූ පසු පවසන්නට කැමැත්තෙන්ම ඉදිරිපත් වූවාය.
ඇය නමින් වියෝලාය. “අපි උපතින්ම කතෝලික අය. අපේ ආගමේ නම් පුනරුත්පත්තිය ගැන කතා කරන්නේ නෑ. ඒක නිසා අපි ඒ ගැන ඒ තරම්ම දැනගෙන හිටියෙත් නෑ. ඒත් මගේ නංගිගේ ජීවිතේට සිදුවුණ සිදුවීමක් නිසා මට වෙලාවකට හිතෙනවා පුනරුත්්පත්තිය කියන්නේ එක්තරා දුරකට හරි
පිළිගන්න පුළුවන් කාරණාවක් කියලා. අනිත් අතින් මේක මහ අද්භූත කතාවක් කියලත් මට හිතෙනවා” ඇය කතාව පටන් ගත්තේ එසේය.
“අපේ පවු‍ලේ ඉන්නේ මමයි, නංගියි, මල්ලියි. නංගි විවාහ වෙලා ගොඩක් කල් යනකන් එයාට දරුවෙක් ලැබුණේ නෑ. එයා හෙදියක් විදියට තමයි සේවය කළේ. ඉතින් එයා ගොඩක් දුකෙන් හිටියා, දරුවෙක් ලැබුණේ නැති එකට. එයා ගොඩක් කරුණාවන්ත හෙදියක් කියලයි රෝහ‍ලේ අයත් කීවේ. එක දවසක් නංගි ගෙදර ඇවිත් මට කතා කළා.
sad womanමම ඇයි කියලා ඇහුවම කීවා අක්කේ ලස්සන තරුණ පිරිමි ළමයි දෙන්නෙක් ගෙනාවා හදිසි අනතුරක් වෙලා දෙන්න හොඳම යාළුවෝ. අනතුර වෙලා තියෙන්නෙත් අපේ ගෙවල්වලට කිට්ටු තැනක. දෙන්න මෝටර් බයිසික‍ලේ එද්දී ඒක ළිස්සල ගිහින් තාප්පෙක හැප්පිලා. මම මේ දවස් කීපේම එයාලා ළඟ ඉඳන් කරන්න පුළුවන් හැම දේම කරන්න දොස්තරලාට උදව් කළා. ඒ දෙන්නම අද නැති වුණා කියලා.”
නංගි මේක කිව්වේ හුඟක් හැඟීම්බරව.
එක ළමයෙක් මියයද්දී නංගිගේ අත තදින් අල්ල ගත්තා කියලා එයා කීවා. දෙන්නම අවුරුදු විසිඑකක ළමයි දෙන්නෙක්.මේ සිද්ධිය වෙලා කාලයක් යද්දී නංගිට දරුවෙක් ලැබෙන්න ආවා. ඇත්තෙන්ම හැමෝම ගොඩක් සතුටු වුණා. දරුවා ලැබෙන්න කිට්ටු වුණාමයි දැනගත්තේ නංගිට ලැබෙන්න ඉන්නේ නිවුන් දරුවෝ කියලා. නංගි ඒකට ගොඩක් සතුටු වුණා. කාලයක් දරුවෝ නැතුව හිටපු හින්දා නංගිට ලස්සන පුතාලා දෙන්නෙක් ලැබුණා. හරිම හුරුබුහුටි මේ දරුවෝ දෙන්න නිසා ඊට පස්සේ නංගිත් එයාගේ සැමියත් ජීවත් වුණේ හරිම සතුටෙන්. මෙයාල දෙන්නට යතුරුපැදි ගැන තිබ්බේ පුදුම උනන්දුවක්. යන්තම් ‍පොඩි වයසෙන් නංගිට කරදර කරලා ‍පොඩි යතුරුපැදියක් අරන් එහේ මෙහේ යන එක තමයි එයාලගේ එකම ආසාව වුණේ. සෙල්ලම් බඩුවක් ගත්තත් ගන්නේ මෝටර් බයිසිකල් තමයි.
ඒ වගේම මේ දෙන්නට දෙන්න නැතිව එක මොහොතක්වත් ඉන්න බෑ. අයියා ලෙඩ වුණොත් මල්ලි අඬනවා. මල්ලි ලෙඩ වුණොත් අයියත් එහෙමයි. නංගි වෙලාවකට හිනාවෙනවා. මෙහෙම නිවුන්නු දැක්කමයි කියලා. දෙන්නම ඉගෙනීමට ගොඩක් දක්ෂයි. ඒ වගේම සින්දු කියන්න, සංගීතෙටත් එහෙමයි.
කොහොම හරි පුතාලා දෙන්න ලොකු වුණා. විභාගත් හොඳින් පාස්වෙලා විශ්වවිද්‍යාලයේ යන්නත් සුදුසුකම් ලැබුවා. දෙන්නගෙම විසි එක් වෙනි උපන් දිනේ ලොකුවට ගත්තා. ඒ උපන් දිනේ අරන් මාසයක්වත් ගියේ නෑ නංගිගේ මහත්තයා හදිසියක් කියලා කතා කරලා ගෙදර එන්න කියනකොට. මම යනකොටත් එයාල හිටියේ වැළපෙමින් කෑගහමින්. පුතාල දෙන්නගෙන් ලොකු පුතා එයාගේ මෝටර් බයිසික‍ලේ යද්දී හදිසි අනතුරක් වෙලා. එයා රෝහලට ගෙන යද්දිත් මියගිහින් තිබුණා. එයාලගේ ගෙවල් කිට්ටුව තියෙන පාරක එද්දි යතුරුපැදිය ලිස්සල ගිහින් ඒ ළඟ තාප්පෙක හැපිලා තිබ්බා. එදා සාමාන්‍යයෙන් හිම වැටුණ දවසක්. ඒ ළඟපාතක කවුරුත් ඒ අනතුර වෙනවා දැකලත් නෑ. ටික වෙලාවකට පස්සේ එතනින් යන්න ආපු මෝටර් රථයක අය තමයි ‍පොලීසියට කතා කරල තිබ්බේ.
ලොකු පුතාගේ මරණයෙන් පස්සේ නංගිත් ගෙදර අයත් හිටියේ හරිම හිතේ අමාරුවෙන්. ‍පොඩි පුතාගේ ජීවිතෙත් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එයා ගෙදරින් එළියට බැස්සේ කලාතුරකින්. මගේ දුවලා දෙන්න හැම වෙ‍ලේම එයාගේ හිත හදන්න බැලුවත් එයා හිටියේ අඩ සිහියෙන් වගේ. පස්සේ අපි බැරිම තැන එයාව මනෝ වෛද්‍යවරයෙක් ළඟට එක්කන් ගියා. වෛද්‍යවරයා කීවේ නිවුන් සහෝදරයෝ අනිත් අයට වඩා ගොඩක් සමීප නිසයි මෙහෙම වෙන්නේ කම්පනය අඩු වුණාම හරි යයි කිව්වා.
ඔය විදියට අවුරුද්දක් ගෙවුණා. ‍පොඩි පුතා විශ්වවිද්‍යාලයටවත් ඕනෙකමින් ගියේ නෑ. එයාගේ වෙනස නිසා නංගියි එයාගේ සැමියත් හිටියේ හිතේ අමාරුවෙන්. ලොකු පුතාගේ අවුරුද්දේ සැමරුම ආවේ ඔය අතරේ. අපි පල්ලියේ දේව මෙහෙයක් ලෑස්ති කරලා තිබ්බේ. ඒකට යන්න සූදානමින් ඉන්නකොට නංගි කෑ ගහගහ අඬ අඬ කිව්වා ඉක්මනට එන්න කියලා. අපි පුළුවන් ඉක්මනට එතනට ගියා. එදත් හිම වැටෙන දවසක්.
අදහන්න පුළුවන් දෙයක් නමෛයි වෙලා තියෙන්නේ. ‍පොඩි පුතත් ලොකු පුතා මියගිය තැනම ඒ විදියටම හදිසි අනතුරකට ලක්වෙලා තිබුණා. එයා පල්ලියේ දේවමෙහෙයට යන්න ගෙදර එමින් ඉඳලා තියෙන්නේ. ඒත් ඒ පාරෙන් ගියේ ඇයි කියලා අදටවත් කිසි කෙනෙක් දන්නේ නෑ. එයා රෝහලට ගෙනයද්දීත් මියගිහින්. මෙහෙම දෙයක් අම්මා කෙනෙක් දරාගන්නේ කොහොමද? මගේ නංගි අදටත් ජීවත්වෙන්නේ බාගෙට මැරුණු කෙනෙක් විදියට.
මේ සිදුවීම පස්සේ කල්පනා කරද්දී නංගිගෙ සැමියා තමයි කීවේ “අපි මොනතරම් විශ්වාස නොකළත් මේ සිදුවීම්වල මොකක් හරි ගුප්ත සම්බන්ධයක් තියෙනවා. මම මේ ගැන ටිකක් ‍පොත් කියෙව්වා. මේක පුනරුත්පත්තියට සම්බන්ධ නැද්ද? කියලා ඔහු අපෙන් අහනවා. ඊට පස්සෙයි මමත් මගේ සැමියත් මේ ගැන හොයන්න හිතුවේ.
නංගිලගේ ගෙවල් ළඟ ඉඳලා අධිවේගී මාර්ගයට පිවිසුම් ස්ථානයට කිට්ටුවෙන් තියෙන පාරක යන්න මේ දෙන්නම දක්වපු අසාමාන්‍ය බයක් ‍පොඩි කා‍ලේ ඉඳන්ම තිබිලා තියෙනවා. ඒ දවස්වල නම් එයාලට ඒක විශේෂයක් වෙලා තිබ්බේ නෑ. එතන තමයි මේ දෙන්නම හදිසි අනතුරට ලක්වුණේ. ඒ වගේම අදහන්න බැරි අනිත් කාරණය නංගිට දරුවෝ නැති කා‍ලේ එයාගේ අත අල්ලන් මියගිය තරුණයෝ දෙන්නත් මියගිහින් තිබුණේ එතැනමයි.
මට දැන් හිතෙන්නේ මේ හැම දේම එකකට එකක් සම්බන්ධ සිද්ධී කියලයි. ඒකයි මට ඕනේ ඔයාලගේ ආගමෙන්වත් ඒකට පිළිතුරක් හොයන්න”.
සැබැවින්ම මේ කතාව අසා සිටි මම විශ්මයට පත්වීමි. පුනරුත්පත්තිය හෝ සංසාරගත සම්බන්ධකම් කියන්නේ මේවාට නොවේ දැයි මටද සිතුණි. 
ලක්මිණි වෙදමුල්ල
ඉතාලියේ මිලානෝ නුවර සිට